Monday, May 11, 2009

ප්‍රීතී වෙසක් - Happy Wesak

වෙසක් දවසේ හතර වටෙන් යාළුවෝ සුභපතන්න ගත්තා ප්‍රීතී වෙසක් කියලා. බොහෝ වෙලාවට මුකුත් නොකියා ඉන්න බැරි නිසා සුභ වෙසක් දිනයක් වේවා කියලා ප්‍රතිචාර දැක්වුවා. කාලීනව සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනත් ආගම් වල සම්ප්‍රධායන් එකතු වෙලා තියෙනවා. උදාහරණයක් ලෙසට කැරොල් ගීත ගායන භක්ති ගීත ලෙසින් බෞද්ධයන් අනුගමනය කළා. එයින් බෞද්ධ කමට හානියක් වුනේ නෑ.(මෙය ඕල්කට් තුමා විසින් සිංහල බෞද්ධයන්ට හඳුන්වා දුන්නක්.) බෞද්ධයන් වෙසක් කාඩ් යවන්න පටන් ගත්තා. මේකත් බටහිර අභාෂයෙන් ගත්ත දෙයක්. නමුත් එයින් බෞද්ධ කමට හානියක් වුනේ නෑ. නමුත් happy x-mas වගේ happy wesak කියන්නත් දැන් පුරුදු වෙලා. (නත්තල් දිනයට happy x-mas කීමත් සමහර ක්‍රිස්තියානි භක්තිකයන් ප්‍රතික්ෂේප කරනවා.)

සතුටු වීම බෞද්ධ කමට හානියක් නෙවෙයි. නමුත් වෙසක් දිනය යනු කුමක්ද කියා අවබෝධයෙන් ඉන්න කෙනෙක්ට මේ විදියට ප්‍රීති වෙසක් කියලා කියන්න කොහොමට වත් හිතෙන්න ‍විදියක් නෑ. වෙසක් දිනයට සුභ පැතීමත් අවශ්‍ය නෑ. එහෙම දෙයක් ඕනෙමයි කියලා හිතෙනවනම්. ආධ්‍යාත්මය වර්ධනය වෙන වෙසක් දිනයක් වේවා! වගේ දෙයක් කීවට වරදක් නෑ.

2 ප්‍රතිචාර:

SRIshanu said...

මේ 'ප්‍රීති වෙසක්' කතාව මුලින්ම දැක්කෙ අකුරෙන් අකුර මුද්‍රණය කරල තිබුනු වෙසක් බකට් වල. ඒත් මේ අමුතු වර්ගයේ සුභ පැතිල්ල මං මුලින්ම ඇහුවෙ මීට අවුරුදු 3කට විතර කලින් ඔෆිස් එකේදි. වෙසක් දිනට කලින්දා වැඩ ඇරිලා යන්න හදද්දි කෙනෙක් එහෙම කිව්වා. මට එදානම් හිනා ගියා මොකද්ද බොලේ මේ කියල.

ඇත්තටම දසුන් කිව්ව වගේ වෙසක් දිනය කියන්නෙ මොකද්ද, අපි එය සමරන්නෙ මොන හේතුවකින්ද කියල දැනුමක් තියන කෙනෙකුට මෙවැනි කියමනක ඇති ගැලපීම/නොගැලපීම වැටහේවි. වෙනත් විදිහකට කිව්වොත් මෙලෙස සුභපතන අයට වෙසක් කියන්නෙ මොකද්ද කියලවත් දැනීමක් නැහැ.

Kokila said...

ඔබෙ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි.වෙසක් දාට කල යුත්තේ තෙමඟුල සිහි කිරීමයි. බුදු ගුණ සිහි කිරීමයි.ඒ අනුව අපි ධර්මානුකූලව කටයුතු කිරීමයි. ප්‍රතිපත්ති පූජාවට අනුව හැසිරී බණ ඇසීම,බණ කීම, භාවනා කිරීම, ආදී ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල යෙදීමයි.